Subscribe:

Nov 6, 2011

ඉන්දියාවට ධර්මාශෝක, ලංකාවට අනගාරික ධර්මපාල

ඉන්දියාවට ධර්මාශෝකයන් කෙබඳුද ලංකාවට අනගාරික ධර්මපාලතුමාගෙන් වූ ශාසන හා දේශමාමක සේවාවද එබඳුම වේ. අශෝකයන්ගේ ජීවිතයේ යම් කොටසක්‌ ප්‍රචණ්‌ඩතාවයෙන් ගෙවී ගිය නමුත් ධර්මපාලතුමාගේ ජීවිතය මුලසිට අග දක්‌වාම ආදර්ශවත් විය. ප්‍රන්‍යාවන්ත විය, අවිහිංසක විය. එනයින් බලනකළ ධර්මපාලයෝ සම්බුදු සසුන බැබළවීම අරභයා බොහෝ දේ කළ ඒ උදෙසා ස්‌වකීය ජීවිතයම කැපකළ මහා විරුවෙකි.

සෑම සත්ව්‍යාපාරයකම ජීවමාන කාලය කටුක අත්දැකීම්වලින් යුක්‌තය. ධර්මපාලතුමා දියත් කළ බොහෝ ශාසනික හා ජාතික ව්‍යාපාර හා ක්‍රියාකාරකම්වලටද එම නියතය බලපෑවේය. එතුමා ලංකාවේ එකල පාලකයන් වූ ඉංගී්‍රසි අධිරාජ්‍යවාදීන් විසින් සිංහල සංස්‌කෘතියටත් බෞද්ධ ශාසනයට හා බෞද්ධ ලබ්ධිතයන්ටත් කළ අනේක විධ නොපනත්කම්වලට නිර්දය ලෙස පහරදීම සංකර ධනපති පැලැන්තියේ ද්වේශයට ලක්‌විය. එතුමා දඹදිව බෞද්ධ සිද්ධස්‌ථාන පුනරුත්ථාපනයට, ආරක්‌ෂාවට හා අභිවෘද්ධියට කටයුතු කරත්දීද එලෙසම ඇතැමුන් කර්කශ විවේචනවලින්ද සාපරාධී අවලාදවලින්ද එතුමාව රිදවූයේ වරක්‌ දෙවරක්‌ නොවේ. එම දුර්දාන්ත ක්‍රියාකලාපවලින් එතුමා කොතරම් කලකිරීමට පත්වූයේද යත් තම මෘත දේහයවත් ලංකාවට නොගෙනා යුතු යයි තම හිතවතුන්ට පවසා දඹදිවට ගියේය. එහෙත් එතුමාගේ අභාවයෙන් පසු කාලයේදී නම් මෙරට කිසිදු ජන නායකයකුට නොදක්‌වන බුහුමනින් එතුමාගේ ශ්‍රී නාමය රැඳවීමට රට වැසියෝ නොපැකුලනහ. දිවයිනේ ප්‍රධාන නගර රාශියකම එතුමාගේ පිළිරූ ඉදිව ඇත. මාවත් නම්කර තිබේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට පිටුපාමින් බෞද්ධ ගති සිරිත් නොතකමින් රට අසංස්‌කෘතික අගාධයට ඇද වැටෙත් වැටෙත්ම එතුමන්ගේ ගුණ, තෙද, බල මහිමයෙහි අගය වඩ වඩාත් රටට දැනෙන්නේය. ඒ හා සමානවම එතුමන්ගේ ක්‍රියාකාරකම්වල වටිනාකමද ඉහළ නගින්නේය. රටට දැයට හිතැති සියල්ලෝම එලෙස ඉහළට නැගෙන එතුමාගේ ගුණ කදම්භය ආරක්‌ෂා කොට දියුණුකොට අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් පවත්වාගෙන යාමට උත්සුක විය යුතුය. එතුමාට දැක්‌විය හැකි අව්‍යාජ උපහාරය වන්නේද එතුමා උගැන්වූද ජීවිතාදර්ශයෙන් සපථ කළ බෞද්ධාගාමික ජිවන රටාවට අපද හුරුවීමයි.

1864.09.17 වැනිදින දොන් කරෝලිස්‌ හේවාවිතාරණ සහ මල්ලිකා ධර්ම ගුණවර්ධන යුවලට ලද කුළුඳුල් පුත් රුවනට දොන් ඩේවිඩ් යන නම තැබිණ. රාජ අනුග්‍රහය නොඅඩුව ලද ක්‍රිස්‌තියානි පාසල් එකල කොළඹ ස්‌ථාපනය කොට තිබුණු අතර මෙම කුමරුවාගේ සිප් හල් වූයේද පිටකොටුවේ ශාන්ත මරියා විදුහලත් පසුව ක¹නේ ශාන්ත බෙනඩික්‌ විද්‍යාලයන්ය. එසේ වුවද නව වැනි වියට පත්වත්ම මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙනට ඇතුළුව පෙරදිග ශාස්‌ත්‍රාලෝකය ලබන්නට තරම් හේ පින්වත් වීය. මාපියන් වත් පොහොසත්කම් ඇත්තමුන් වූ නිසා ගල්කිස්‌සේ ශාන්ත තෝමස්‌ විදුහලෙන්ද, පසුව රාජකීය විදුහලෙන්ද ද්විතීය අධ්‍යාපනය ලැබීමට ඔහුට හැකිවිය.

කිසියම් යටත් විජිතයක්‌ යහතින් තම ආධිපත්‍යයට යටත් කර තබාගෙන හැකි පහසුම මග එම විජිතයේ පවතින ආගම්, සිරිත්විරිත් ඇදහිලි හා වටිනාකම් වනසා දැමීමය. ඉංගී්‍රසීහු ලක්‌දිව මුළුමණින්ම නතු කරගත් පසු ඉර හඳ පවතිනතාක්‌කල් එහි අධිපතිත්වය පවත්වා ගැනීමට උත්සුකවීමේ සෘජු ප්‍රතිඵලයක්‌ වූයේ සිරිලක සිංහලයා සමග බැඳී පවතින බුදුදහමත් සසුනත් ඒ හා බැඳුණු සංස්‌කෘතියත් වැනසීමට කෙමෙන් පියවර ගත්තෝය. ශාසනික ප්‍රවර්ධනය උදෙසා කුහුඹුවෙකුට පවා හිංසාවක්‌ නොකෙරෙන සම්බුදු සසුනට එල්ලවන තර්ජන හා අභියෝග පරාජය කිරීමට භික්‌ෂුන්වහන්සේලා පිරිසක්‌ නැගී සිටියහ. 1873 අගෝස්‌තු 12 වැනිදා පූජ්‍ය මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ නායකත්වයෙන් පානදුරේදී පැවති ආගම් වාදය එහි ප්‍රතිඵලයක්‌ විය. ඒ පිළිබඳ වාර්තාව කියෑවූ ඇමෙරිකන් ජාතික සෙන්පතියෙකුවූ ස්‌ටීල් ඕල්කට්‌ මැතිඳුන්ගේ ලංකා ගමනයද එහි ප්‍රතිඵලයක්‌ විය. බුදුදහමින් ඉස්‌මතු කළ සිත හා සත්‍යගාමී ප්‍රඥ මහිමය වැඩි දියුණු කිරීමේ උත්තම අභිලාශයෙන් 1889 දී පරම විඥනාරථ බෞද්ධ සමාගමේ උපතද තවත් ප්‍රතිඵලයක්‌ විය. ලැබූ විශිෂ්ට අධ්‍යාපනයෙන් උසස්‌ ප්‍රතිඵල නෙලා ගනිමින් ප්‍රභූ පෙළපතකට අයත් ප්‍රභූ තරුණයෙකු ලෙස වැජඹෙන්නට උවමනාවටත් වඩා සුදුසුකම් සපුරා තිබුණු ඩේවිඩ් තරුණයා තම ජිවිතය සිංහල ජාතියේ පුනර්ජීවනයටද, බෞද්ධ ශාසනයේ චිරස්‌තිථියටද පරාජිතව නිවටව සුද්දාගේ පාලනය අබියස දණින් වැටී සිටි සිංහලයාගේ අභිමානය උදෙසාද කැප කිරීමට තිර අදිටනකට එළඹියේ මෙම අවදියේදීය.

ඔහු තම පියා අමතමින් ලියූ ලිපියෙහි මෙසේ සඳහන් කළේය.

"... එහෙයින් ලෝකාභිවෘද්ධියට හිතැතිව වැඩ කිරීමට මෙම සමාගමට (පරම විඥනාර්ථ බෞද්ධ සමිතිය) බැඳී වැඩ කිරීමට අවසරය දෙන ලෙස මම ඉතා යටහත්ව අයෑදිමි. ගෞතම බුදු පියාණන් වහන්සේ බුද්ධ ඥනයෙන් පෙන්වා දී තිබෙන උතුම් මාර්ගයේ යමින් බුද්ධ ප්‍රතිපත්ති පූරණය කිරීමට ගිහි ජීවිතය අවහිරයක්‌ බැවින්, මම බ්‍රහ්මචාරීව ජීවත්වීමට හිතට ගතිමි... ඒ අනුව බ්‍රහ්මචාරීව ජීවත්වෙමින් තත් සමිතියේ දියුණුවට වැඩ කිරීමට ඉඩ දෙනමෙන් දොහොත්මුදුන්දී මම අයෑද සිටිමි." එතුමාගේ මෙම උතුම් අදිෂ්ඨානය මුදුන්පත් කිරීම සඳහා එකල දකුණු ලක පැවිදි පඬිරුවණක්‌ වූ පූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන්ගෙන් ලද සහාය ඉතා ප්‍රබලද වැදගත්ද විය.

එතුමා සිය නම අනගාරික ධර්මපාල නමින් වෙනස්‌ කළේය. ශ්‍රී සුමංගල නාහිමිපාණන්ගේ අනුසාසකත්වයෙන් හා ඕල්කට්‌ මැතිඳුන්ගේ නායකත්වයෙන් බෞද්ධ ජනතාවගේ නැතිවී ගිය උරුමයන් යළි ලබා ගැනීම උදෙසා දියත් කළ විවිධ කටයුතු ගඟට කපන ඉනි මෙන් නිරර්ථක වූයේ නොවීය. ඒ වනවිට පෙරහැර පැවැත්වීමට බෞද්ධයනට පනවා තිබූ තහනම ඉවත් කෙරිණි. ඉංගී්‍රසීන් උඩරට ගිවිසුමින් (1815) එකඟවු පරිදි ලංකාවේ විහාර දේවාලද ඊට ආවේනික පූජා විධිද යථාපරිදි පවත්වා ගෙන යාමට අවකාශ සැළසිණි. වෙසක්‌ පුන් පෝයදින රජයේ නිවාඩු දිනයක්‌ බවට ප්‍රකාශ කෙරිණ. බෞද්ධයන්ගේ විවාහ කටයුතු පල්ලියේදී මිෂනාරීන් විසින් සිදු විය යුතු පරිදි පනවා තිබූ රෙගුලාසි ඉවත් කෙරිණි. 1884 දී එංගලන්තයට ගිය ඕල්කට්‌තුමා, යටත් විජිතභාර මහ ලේකම්වරයා සමග සාකච්ඡාකොට ලබාගත් මෙම සහන එදා පීඩනයට පත්ව සිටි බෞද්ධ ජනතාවට ඉමහත් ආශ්වාදයක්‌ නොවූයේ නම් පුදුමයෙකි.

සිංහල බෞද්ධ ජන පදනමකින් යුත් ලංකාවේ එකී ජනතාවට අත්විඳින්නට වූ අනෙකවිධ පීඩාවන්ට එරෙහිව හඬ නැගීමටත් බෞද්ධ සංස්‌කෘතික අංගයන් ප්‍රචලිත කිරීමටත් ප්‍රබල අඩුවක්‌ වූයේ යෝග්‍ය ජනමාධ්‍යයක්‌ නොතිබීමය. එම අඩුව සපුරාලීමට ධර්මපාලතුමා 1886 දී "සඳරැස" නමින් පුවත්පතක්‌ ආරම්භ කළේය.

අනගාරික ධර්මපාල තුමාගේ ජීවන ගමන් මගට නව ජවයක්‌ ලැබුණේ 1890 දී එතුමා ඉන්දියාවට පය තැබූ පසුය. ගෞතම බුදුරජුන් ජීවමානව සිටි යුගයෙහි දඹදිව පැතිර තිබූ බුදුදහම අභිබවා හින්දු ඉස්‌ලාම් ආගම් ප්‍රචලිතව තිබූ අතර බෞද්ධ සිද්ධස්‌ථාන නටඹුන් ජරාවාස වී තිබෙනු සියෑසින් දුටු එතුමා බෞද්ධ සිද්ධස්‌ථාන හින්දු, ඉස්‌ලාම් ආධිපත්‍යයෙන් නිදහස්‌ කර ගැනීම උදෙසා "මහාබෝධි සමාගම" නමින් සංවිධානයක්‌ පිහිටුවා බරනැස, ඉසිපතනය, සාරානාථය, බුද්ධගයා යන සිද්ධස්‌ථානවල අයිතීන් නිරවුල් කොට ඒවායේ ආරක්‌ෂාවටත් අභිවෘද්ධියටත් පියවර ගනිමින් විහාරාරාම ඉදිකර ලක්‌දිවින් පැවිදි කණ්‌ඩායම් වැඩමවා එහි බුදු සසුන යළි පිහිටුවීමට ක්‍රියා කළේය. මෙම කටයුතුවලදී මොතිලාල් නේරු, ආචාර්ය රාජෙන්ද්‍ර ප්‍රසාද්, හොණලුලූ හිS මේරි පෝස්‌ටර් රොබින්සන් සහ රුසියානු ජාතික බ්ලැචට්‌ස්‌කි යන අයවලුන්ගෙන් ලද සහයෝගය හා අනුග්‍රහයන්ද කෘතවේදීව සිහිපත් කළ යුතුවේ. මේ සා උතුම් මෙහෙවරක්‌ එතුමන් අතින් ඉටු වෙත්දීත් සිරිලක ඇතැම් ප්‍රභූ පැලැන්තියේ උදවියද ඔවුන්ගේ ප්‍රචාරක යාන්ත්‍රණයන්ද නිරන්තරයෙන්ම එතුමාගේ සේවය අවතක්‌සේරු කරන්නට වූ බවද අමතක නොකළ යුතුය. එහෙත් අද වන විට දඹදිව වන්දනා චාරිකා සංවිධාන (ඔර්ඩැක aටැබජසැs) හැටහැත්තෑ ගණනක්‌ මගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ මැතිතුමන්ට තම ශාස්‌තෲවරයාණන්ගේ ජන්ම භූමිය හා ශාසනික සේවා සැපයූ උතුම් සිද්ධස්‌ථාන දැක වන්දනා කරමින් ආගමික වතාවතෙහි යෙදෙන්නට ඉඩකඩ ලබාදුන් ශ්‍රේෂ්ඨ නායකයා වූයේ අනගාරික ධර්මපාල තුමාය. එතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් පිහිටුවන ලද මහාබෝධි සමාගමය. ඒ අනුව බලන කල අනගාරික ධර්මපාලතුමා ගෙන් සිංහල බෞද්ධ ලෝකාභිවෘද්ධියට සැළසුණු උදාර මෙහෙවර දෙවැනි වනුයේ ඉන්දියාවේ ධර්මාශෝක මහරජතුමාගෙන් ඉටු වූ සේවාවට නොවේදැයි සිතා බැලිය යුතුවේ.

අනගාරික ධර්මපාලතුමා බුදුදහම පිරිසිඳ දැන සිටි බහුශ්‍රැතයෙකි. එහෙයින්ම ජගත් ආගමික සමුළුවලදී බොදු මතය ඉස්‌මතුවන පරිදීද, අන්‍ය ආගම්වලට නිගරුවක්‌ නොවන පරිදිද වියත් බසින් දේශනා පැවැත්වීමට හැකියාව තිබිණ. එමගින් බුදු දහමේ යශෝරාවය බුද්ධකාලීන යුගයේ තරමට නැතත් ආසියාවේ වන පුබුදුමකට මග පෑදීය. "සිංහල බෞද්ධයා" පත්‍රය පටන් ගැනීමත් මහාබෝධි මුද්‍රණාලය ක්‍රියාත්මකවීමත් එකී ක්‍රියාදාමයට මහත් පිටුබලයක්‌ විය. මෙම මාහැඟි ධර්ම ප්‍රචාරක කටයුතුවල මහිමයෙන් ඉන්දියාවේ විවිධ ස්‌ථානවලද විහාර වෘත්තීය පුහුණු ආයතන, පාසල්ද ජපානය, තායිලන්තය, බුරුමය, චීනය ඉන්දුනීසියාව ලන්ඩනය යන රටවලද පිහිටුවීමට උපකාරී විය.

බුදුදහමටත් සම්බුදු ශාසනයටත් බෞද්ධ ජනතාවගේ සාධාරණ උරුමයන්ටත් අනර්ථයක්‌ම වූයේ ලක්‌දිව ඉංගී්‍රසීන් විසින් යටත් කරගැනීම නිසාය. එහෙයින් එතුමා ඉංගී්‍රසි ජාතිකයා තම පරම සතුරා ලෙස දුටුවේය. ඒ සතුරු කම නොදැක ඔවුන් අබියස දණින් වැටුණු සිංහලයා තුළ අභිමානය ජනිත කරවීමට ඔහු ක්‍රියා කළ විධි ක්‍රම සම්බන්ධයෙන් අතැමෙකුට ප්‍රශ්න තිබිය හැකි වූවත් ඒවා ප්‍රතික්‍ෂෙප කිරීමට කිසිවකුටත් හැකි වූයේ නොවේ. එහෙයින් රටේ කොතැනක හෝ සිදුවන රාජ්‍ය විරෝධී හෝ වේවා, එසේ නොවුනා හෝ වේවා, ඒවායේ කෙළවරක හෝ මූලක අනගාරිකතුමා සිටිතැයි ඉංගී්‍රසිහු කල්පනා කළහ. 1915 දී ලංකාවේ සිදුවූ සිංහල මුස්‌ලිම් කලභයේදී එතුමා ගත කළේ ඉන්දියාවේය. එහෙත් මේ ප්‍රචණ්‌ඩ ක්‍රියා පිටුපස ඔහු සිටිතැයි කල්පනා කළ ඉංගී්‍රසීපාලකයෝ එතුමා කල්කටාවේ සිරමැදිරියක සිරකර තැබීමට පියවර ගත්තේය. එකී දඬුවම වසර 07 ක්‌ විය.

ජීවිතය පුරා සිල්වත්ව ගතකළ එතුමා 1931 ජුලි 13 වැනිදා ඉසිපතන මූලගන්ධිකුටි විහාරයේදී සිරි දේව මිත්ත ධම්මපාල නමින් පැවිදි බිමට පිවිසියේය. ඉන් දෙවසරකට පසු උපසම්පදාවටද පත්විය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වසර 800 ක පමණ කාලයක්‌ ඉන්දියාවේ බෞද්ධයන්ට අහිමිව තිබූ බෞද්ධ සිද්ධස්‌ථාන යළිත් බෞද්ධයන්ගේ උරුමයට නතුකර දෙමින්ද බුදුදහම ලෝක පූජිත කිරීම අරභයා දිවිහිමියෙන් කටයුතු කරමින්ද වසර 56 ක තරම් කාලයක්‌ ජාත්‍යන්තර ශාසනික උත්තම මෙහෙවරක්‌ ඉටු කළ එතුමෝ 1933 අප්‍රේල් මස 29 දා බරණැස සාරානාත්හිදී එළඹගත් සිහියෙන් යුක්‌තව අපවත් වූහ. එවන් යුග පුරුෂයන් විසින් ඉතාමත් කැපවීමෙන් ආරක්‌ෂා කළ සම්බුදු ශාසනය සිය පන මෙන් රකිමින් එහි චිර ජීවනය උදෙසා කැපවීම තරම් අගනා උපහාරයක්‌ මෙදියත අපට තිබිය නොහැකිය.
බන්දුල මානවඩු‍ (දිවයින පුවත්පතෙන්)

1 comment:

  1. අනගාරික ධර්මපාල නාමය සඳා අමරණීයයි. මෙම ප්‍රසිද්ධ කිරීම පිළිබඳ ස්තුතියි. නුඹට පිං.

    ReplyDelete